බලා සැනසෙන්නට නොව බලා විමසන්නට…
දැනුම ගොඩනැඟෙන අයුරු …..
මොළය තුළ දැනුම ගොඩනැඟෙන ආකාරය දැන හඳුනා සිටීම එය තමාගේ අභිමතය පරිදි භාවිතා කිරීමට පිටිවහලකි. දැනුම ගොඩනැඟෙනුයේ තමාට අනන්‍ය වූ යම් මානසික හැඩතලයකට අනුරූපවය. මේ නිසා දැනුම ගොඩනැඟෙන පිළිවෙළ පුද්ගලානුබද්ධව වෙනස් මුහුණුවරක් ගනී. දැනුම යනු සංඥා යම්කිසි පිළිවෙළකට අනුව මනස තුළ සංවිධානය වීමකි. එමඟින් මොළයේ නව ස්නායු ව්‍යුහයන්හි දත්ත තැන්පත් වනුයේ නිශ්චිත රටාවකට අනුවය. යම්කිසි දත්ත සමුදායක් මොළයේ ගබඩා වී ඇත්තේ සංවිධානාත්මක ස්වරූපයකිනි.
මේ සංවිධානාත්මක ස්වරූපය නිසා මොළයේ ව්‍යුහ ගොඩනැඟේ. මේ නව ව්‍යුහ ගොඩනැඟීමෙන් ඒවා අතර නව අන්තර් සබඳතා ඇති වීම සංශ්ලේෂණ ක්‍රමවේදය අනුව සිදුවේ. සංශ්ලේෂණ ක්‍රමවේදය යනු පවතින දෙය අනුසාරයෙන් ඇතිවන විවිධ දැනුම් ක්ෂේත්‍ර ගොඩනැඟීමයි. එවිට අභිනව ක්ෂේත්‍ර අර්ථකථනය වනුයේ ද පවතින ක්ෂේත්‍රවලට සමානුපාතිකවය. මේ ක්‍රමයේ ප්‍රබල ස්ථාන මෙන්ම දුබල ස්ථාන ද තිබේ. මෙහි ප්‍රබල ස්ථාන නම් නිරතුරුව පවතින දැනුම ආශ්‍රයෙන් නව දැනුම ගොඩනැඟෙන නිසා දැනුම තහවුරු වීමට වැඩි ඉඩකඩක් සැලසිය හැකි බවයි. එසේම පවතින දැනුම ඔස්සේ නව දැනුම විචාර පූර්වකව සලකා බැලීමට මෙහිදී වැඩි ඉඩක් හිමි වේ.
එසේම පවතින දැනුම සංස්කරණය කිරීම්වලට ලක් වේ. ඇතැම් විට පවතින දැනුම පිළිබඳව වැඩිදුර ව්‍යතිරේක කරුණු පවා එක්රැස් කරගැනීමට මෙකී ක්‍රමවේදය ඔස්සේ වැඩි ඉඩක් හිමි වේ. එබැවින් මෙබඳු අවස්ථාවන්හි පවතින මූලික දැනුම තව තවත් තහවුරු වීමට අවකාශ සැලැසේ. වඩා ප්‍රබල ස්මරණ ශක්තියක් ඇතිවීමට තහවුරු වීම අවශ්‍යය.
සංශ්ලේෂණ ක්‍රමවේදයේ දක්නට ලැබෙන දුබලතාවය නම් පවතින දැනුමට වෙනස් දේ සංජානනය වීමේදී පවතින දැනුම ප්‍රතික්ෂේප වීමකට ලක්විය හැකි බවයි. සාරධර්ම ලෙස කලක සිට පිළිගැනී පැවතුණු දෙයක් තවත් අවස්ථාවකදී සාරධර්ම නොවන ලෙස වැටහිය හැකිය. ඒකී හේතුව නිසා මුලින් සාරධර්ම ලෙස සැලකූ දේවල් අත්හැර දැමීමට පවා ඉඩ තිබේ. පොල්තෙල් ආහාරයට ගැනීම නිසා රුධිරයේ අන්තර්ගත මේද ප්‍රමාණය වැඩි වෙතැයි යන දැනුම ලබයි.
පසු අවස්ථාවකදී පොල්තෙල් ආහාරයට ගැනීම එතරම් අයෝග්‍ය නොවන බවක් ද දැනගනියි. පොල්තෙල් ආහාරයට ගැනීම නොව සත්ත්ව මේදය ආහාරයට ගැනීම අදාළ රෝගී තත්ත්වයට හේතුව බව නිසැක ලෙස දැන ගනියි. මේ සමඟම පොල්තෙල් ශරීර සෞඛ්‍යයට අහිතකර යන දැනුම ප්‍රතික්ෂේප වේ. මේ නිසා යම් කිසි දෙයක් පිළිබඳ ඇති පිළිගැනීම වඩාත් තහවුරු වීම මෙන්ම ප්‍රතික්ෂේප වීම යන ප්‍රතික්‍රියා දෙකම සංශ්ලේෂණ ක්‍රමවේදය තුළ විද්‍යමාන බව පැහැදිලි වේ.
දැනුම ගොඩනැඟීමේදී භාවිත වන අනෙක් ආකාරය නම් විශ්ලේෂණ ක්‍රමවේදයයි. මෙහිදී දැනුම ගොඩනැඟෙනුයේ විග්‍රහය තුළිනි. විශ්ලේෂණ ක්‍රමවේදයේ ප්‍රබල බව නම් මෙහිදී උපයෝගී කරගන්නා දත්ත ගැඹුරින් විශ්ලේෂණය කිරීමට ඇති හැකියාවයි. මෙහිදී තාර්කක ස්වරූපය භාවිත කරන අවස්ථා ද ඇතිවේ.
යමක මතුපිට ස්ථරයේ සිට ඊට පහතින් පිහිටි යට ස්ථර කරා අනුක්‍රමිකව ගැඹුරට පිවිසෙමින් සිදුකරන විග්‍රහයන් මීට ඇතුළත්ය. නිදසුනක් ලෙස යම් විශාල සංඛ්‍යාවක් තව ඊට වඩා කුඩා සංඛ්‍යාවකින් බෙදූ විට අවසානයේදී ලැබෙන දුරටත් නොබෙදිය හැකි සංඛ්‍යාත්මක වූ පිළිතුර දැක්විය හැකිය. එසේම විසඳීමට දුෂ්කර ගැටලුවක පියවර ගණනාවකින් පසුව විසඳුම වෙත ළඟාවීම ද නිදසුනකි. එසේම එක්වරම වටහා ගැනීමට අසීරු යමක් ක්‍රමික පියවර ගණනාවකට බෙදා ඉන් අනතුරුව වටහා ගැනීමට වෑයම් කිරීම ද විශ්ලේෂණ ක්‍රමවේදයයි.
විශ්ලේෂණ යන්න තුළ විග්‍රහ කිරීම අන්තර්ගතය. යමක වටහා ගැනීමට නම් ඒ පිළිබඳ විග්‍රහයක යෙදීම අවශ්‍ය වනුයේ මේ නිසාය. මෙහිදී දැනුම ගොඩනැඟෙනුයේ පියවර ක්‍රමයට අනුවය. ඒ අනුව මුලින් ඇති වූ දත්ත සංඥාවලට ම පසුව ලැබෙන දත්ත සංඥා එක්වීම නිසා මූලික හැඩයේ සංකීර්ණත්වයක් විද්‍යමාන වේ. එවිට මූලික හැඩය ද පවා වෙනස් වී යන අවස්ථා තිබේ. නිතරම දත්ත සංඥා විශ්ලේෂණයේදී පියවරවල සමාන බව මෙන්ම ක්‍රමික බව ද තිබිය යුතුය.
මෙහිදී මොළයේ ස්නායු ව්‍යුහ ගොඩනැඟෙනුයේ මූලික ව්‍යුහ සියල්ල සම්බන්ධ කරගෙන නොවේ. එහිදී සම්බන්ධ වනුයේ අවසාන පියවරට ආසන්නතම පියවර වේ. මේ අනුව පියවර රාශියකින් සමන්විත ස්නායු ව්‍යුහයක එක් එක් පියවර පාසා ක්‍රමික සම්බන්ධ වීමක් ආසන්නතම පියවර තුළ ඇත. එසේම මුල් පියවර සමඟ අවසාන පියවර සෘජුව අසම්බන්ධිතය. අවසාන පියවරේ සිට මුල් පියවරට යා හැකි වනුයේ ඊළඟ ආසන්නතම පියවර ඔස්සේ වීම ද මෙහිදී විද්‍යමාන එක් සුවිශේෂිත්වයකි.
මේ ක්‍රමයට අනුව දැනුම ජාලගතව සම්බන්ධ වන බැවින් අවශ්‍ය වන අවස්ථාවන්හි විචාර පූර්වකව විකල්ප අවස්ථා කරා පහසුවෙන් ළඟාවිය හැකිය. මේ ක්‍රමයේදී මූලික දැනුම දෙවනුවට ලබාගන්නා දැනුම මඟින් ප්‍රතික්ෂේප නොවේ. එසේම දැනුම අනවශ්‍ය පරිදි යළිදු වාරයක් තහවුරු වීමක් ද නොවේ. මේ නිසා කිසිදු අධානග්‍රාහී බවක් නොමැතිව මධ්‍යස්ථව විචාරශීලී අයුරින් කටයුතු කළ හැකිවීම මේ ක්‍රමවේදයේ විද්‍යමාන වාසි සහගත තත්ත්වයකි.
දැනුම ව්‍යුහාත්මකව ගොඩනැඟෙන්නක් ය යන මනෝවිද්‍යාඥයන්ගේ පිළිගැනීම නූතන පර්යේෂණ නිසා ඇතැම් විට අභියෝගයට ලක්වී තිබේ. මන්ද අදාළ ව්‍යුහයන්ගෙන් පරිබාහිරව පවා දැනුම ගොඩනැඟිය හැකි බව පැහැදිලි වී ඇති බැවිනි. මෙය මනසේ රසායනික ද්‍රව්‍යවල සංකීර්ණ වූ ප්‍රතික්‍රියාවක් නිසා ඇතිවන්නක් බවට නූතන මනෝ විද්‍යාඥයන් විසින් අර්ථ දක්වනු ලැබේ. මතකය, දැනුම හා ආවර්ජනය යන ක්‍රියාවලි සිදු වනුයේ ශීඝ්‍ර රසායනික ප්‍රතික්‍රියාවන් මඟින් බව මේ පිළිබඳව පර්යේෂණවලදී සොයාගෙන තිබේ. දැනුම නිරතුරුව ලැබීම නිසා මනස තුළ සංකීර්ණ ව්‍යුහ ගොඩ නැඟෙතැයි මුලින් විශ්වාස කරන ලදී.
මොළය විශාල පරිපථයක් ලෙස සැලකූ විට ඒ තුළ තව ක්ෂුද්‍ර පරිපථ ඇතිවීම දැනුම ගබඩා වීමේදී සිදුවේ. සැබවින්ම මොළයෙන් කුඩා විද්‍යුත් ධාරාවක් නිකුත්ව එය සෙසු ප්‍රදේශ කරා ව්‍යාප්ත වී යයි. අවදියෙන් සිටීමේදී නිද්‍රාවට පත්වීමේදී නිද්‍රාවේ විවිධ අවස්ථාවලදී, සිත සමාධිගතව පවතිද්දී මොළයෙන් නිකුත් වන මෙකී විද්‍යුත් ධාරාවේ තරග ආයාමය ඊට අනුරූප වන පරිදි සුසර කිරීමකට ලක්වේ. මේ අනුව මොළයෙහි ක්‍රියාකාරිත්වය මැන ගැනීම සඳහා මෙකී තරංග ආයාමය සුපරීක්ෂණයට ලක්කිරීම බොහෝ විට නූතන වෛද්‍ය විද්‍යා පර්යේෂණවලදී සිදුවේ. මොළය තුළ හා ඉන් පිටතට විහිද යන මෙකී විද්‍යුත් ධාරාව මොළයේ විවිධ ස්ථාන උත්තේජනය කිරීමට උපකාරී වේ. මොළයේ ක්‍රියාකාරිත්වය නිරෝගීව පවත්වා ගැනීමට මෙකී විද්‍යුත් ධාරාව මොළය තුළ ව්‍යාප්ත වීම අවශ්‍යය.
එසේ නොමැති වුවහොත් මොළයෙහි හා ස්නායු ක්‍රියාකාරිත්වයෙහි කටයුතු අකර්මණ්‍යය විය හැකිය. ඒ නිසා නිරතුරුවම මොළයෙන් නිකුත් වන මෙකී විද්‍යුත් ධාරාව එය නිරෝගීව පවතින අවස්ථාවලදී කිසියම් නියත මට්ටමකින් පැවතිය යුතුය. එහි නියත අගය අඩුවැඩි වීම මොළය නිසි ආකාරයෙන් ක්‍රියා නොකරන බවට සාධකයකි. එසේම මොළයේ මෙකී විද්‍යුත් ක්‍රියාකාරිත්වය මොළය තුළ ඇති ස්නායු සම්පේ‍්‍රෂණ සංඥා දත්ත ගබඩා වීම හා යළි අවශ්‍ය වූ විට ඒවා සිහි කැඳවීම ආදි බොහෝ දේ සමඟ සම්බන්ධය.
මේ විද්‍යුත් ධාරාව සමඟ මොළය ක්‍රියාත්මක වීමේදී මොළයේ ව්‍යුහවල රසායනික ප්‍රතික්‍රියා ලෙස ගබඩා වී තිබෙන දැනුම ද මොළයට අවශ්‍ය අවස්ථාවලදී විටින් විට කැඳවා ගැනීම ද සිදුවේ. දැනුම ගොඩනැඟීමේ ක්‍රියාවලිය සිදුවන්නේ මෙසේ ආපසු මතක ගබඩා වලින් කැඳවනුලැබූ මතක දත්ත හා මොළය වෙත අලුතින් සම්පේ‍්‍රෂණය වූ සංඥා දත්ත අතර සමායෝජනය නිසාය. මොළයේ ඇති සංකීර්ණ ක්‍රියාවලිය නම් මෙකී සමායෝජනයයි. අපට ලෝකයේ ජීවත්වීමේදී අවශ්‍ය කරන්නා වූ සෑම දැනුමක්ම ලැබෙන්නේ මේ සංකීර්ණ සමායෝජන ක්‍රියාවලිය හරහාය. ඉගෙනීම, දැනුම ලැබීම පුරුදු පුහුණුව ලෙස සාමාන්‍ය ව්‍යවහාරය අනුව හඳුන්වනු ලබන්නේ ඉතා සංකීර්ණව මොළය තුළදී සිදුවන මේ සමායෝජන කාර්යභාරයටය.
මේ සමායෝජන කාර්යභාරය සරල බවේ සිට සංකීර්ණ බව දක්වා විවිධ පරාසවලින් යුක්තය. යම්කිසි දත්ත සම්පේ‍්‍රෂණයක් මොළයට ලැබීමේදී මොළය ඒ පිළිබඳව අදහසක් ඇති කරගන්නේ මීට පෙර අවස්ථාවකදී අදාළ සංඥාවට හෝ ඊට සමාන දත්ත සංඥාවන් මොළය වෙත ලැබී එය මතකයේ ගබඩාකර තිබුණහොත් පමණි. එවිට මොළය ඒ පිළිබඳ සුපරීක්ෂා කර අදාළ මතකය තැන්පත්ව ඇතිනම් යළි ආපසු කැඳවා ගැනීම සිදු කරයි. මෙසේ ආපසු කැඳවා ගනු ලැබු මතකය ආගන්තුක දත්ත සංඥාව හා මනා සේ සසඳා බැලීමකට ලක් කරයි.
මෙහිදී ආගන්තුක දත්ත සංඥා මෙසේ ආපසු කැඳවා ගනු ලැබූ මතක දත්තවලට සමාන නම් මොළය විසින් අදාළ ආගන්තුක දත්ත සංඥා හඳුනා ගැනීමකට ලක් කෙරේ. අනතුරුව දත්ත වර්ගීකරණය ද කෙරේ. දැනුම සකස් වීම සිදුවීමට මේ අයුරින් දත්ත සංවිධානය වී පැවතීම වැදගත්ය. මේ නිසා පහසුවෙන් ඒ දැනුම ස්මරණය කළ හැකි වේ. මෙසේ ස්මරණය කළ හැකි වීම දැනුම ප්‍රායෝගිකව භාවිතයට ගැනීමේදී ප්‍රයෝජනවත් ය.
(පුවත් පතක් ඇසුරින්)
Like this:
Be the first to like this post.
සොයුරිය ඔබගේ මෙ වෑයම අප අගය කරමු.
”ආ මග කෙටියි යා යුතු මග දුරයි නුවණින් අවදියෙන් තරණය කල යුතුයි”.
ඔබගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගෙන යාමට වීර්ය බලය අකන්ඩව පවත්වා ගෙන යෑමට හැකියාව ලැබෙවායි පතනෙමි.